අලුත් අවුරුද්ද උදාවෙන්න තියෙන්නේ තවත් සුළු දින ගණනක්. ගොඩක් දෙනා අලුත් අවුරුද්දට කඩිමුඩියේ ලෑස්තිවෙනවා. ඒ ලෑස්තිවීමේ ප්‍රධාන අංගයක් විදිහට සාප්පු සවාරිය නම් කරන්න පුළුවන්. ඉතින් අලුත් අවුරුද්දට කලින් සාප්පු සවාරියේ යෙදෙන්න හිතන් ඉන්න අයට ඒකට ගැලපෙනම තැන් ටිකක් ගැනයි මේ සටහන.
X’Mas Vasi Sale - දෙසැම්බර් 09
සමාජ සත්කාරයක් පදනම් කරගනිමින් පැවැත්වෙන නත්තල් වෙළෙඳ ප්‍රදර්ශනයක් වශයෙන් බෞද්ධාලෝක මාවතේ සුදර්ශි ශාලාවේ පැවැත්වෙන X’Mas Vasi Sale හැඳින්විය හැකියි. ඩිජිටල් උපකරණ, ඇඳුම් ආයිත්තම් ඇතුළු බොහෝමයක් දේ මේ වෙළෙඳ පොළේදී මිලදී ගත හැකියි. ඒවායින් ලැබෙන අරමුදල් ආර්ථික අගහිඟතා තියෙන ළමුන් 50 දෙනකුට ඉගෙන ගන්න අවශ්‍ය පහසුකම් සැපයීමට යොමුකෙරෙනවා. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ අලුත්ම නිෂ්පාදන වගේම වරක් පාවිච්චි කළ, ඒ කියන්නෙ සෙකන්ඩ් හෑන්ඩ් බඩුමුට්ටුත් මෙතැනදී ගන්න පුළුවන් වීමයි. දෙසැම්බර් 09 වැනිදා උදේ නමයේ සිට සවස නමය වෙනතුරු මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා.
Colombo Trade Fair 2017 -
දෙසැම්බර් 15, 16, 17
පිටකොටුවේ කොළඹ පාවෙන වෙළෙඳ සංකීර්ණයේත් (Floating Market) පරිශ්‍රයේත් වෙළෙඳ සැණකෙළියක් පැවැත්වෙනවා. ඒ දෙසැම්බර් 15 සිට 17 දක්වායි. මේ වෙළෙඳ සැණකෙළිය සංවිධානය කරන්නේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයයි. එහිදීත් ගෘහ උපකරණ, ඇඳුම් පැළඳුම්, ආහාර පාන, ක්‍රීඩා භාණ්ඩ, තාක්ෂණික උපකරණ වගේම පොත්පත් හා ලිපිද්‍රව්‍ය පවා මිලදී ගැනීමට හැකිවේවි.
CMB STREET SHOPPING
FOOD FESTIVAL
කොළඹ නෙළුම් පොකුණ අසල ග්‍රීන්පාත්හි දෙසැම්බර් 15 සහ 16 කියන දවස් දෙක පුරා CMB STREET SHOPPING & FOOD FESTIVAL නමින් ආහාර සහ වෙළෙඳ ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. මෙතැනදී වැඩි ඉඩක් ලැබෙන්නෙ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට නිසා ඔවුන්ට ශක්තියක් වෙන අතරේදී සාධාරණ මිලකට භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාවකුත් තිබේවි. මේ වැඩසටහනට වෙළෙඳ කුටි 150ක් විතර එකතුවීමට නියමිතයි. වෙළෙඳ ප්‍රදර්ශනයට සමගාමීව විනෝද ක්‍රියාකාරකම් රැසකුත් මෙතැන සංවිධානය වෙනවා. ඒ අනුව නොමිලේ බර්ගර් දිනාගැනීමේ අවස්ථා, පළමුවෙන්ම ප්‍රදර්ශනයට පැමිණෙන කාන්තාවන් 500 දෙනාට මල් ඔටුනු 500ක් ලබාදීම, Live band DJ, බීට් බොක්සිං තරග, ළමා විනෝද පරිශ්‍රය වගේ ගොඩක් දේවල් දකින්න ලැබේවි.
මේ සියල්ල අතරේ ප්‍රසිද්ධ බැංකු රැසක්ම තමන්ගේ ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්වලින් සිදුකරන මිලදී ගැනීම්වලදී විශාල වට්ටම් රාශියක් පාරිභෝගිකයන් වෙනුවෙන් පිරිනමලා තිබෙනවා.
රජිත